Monday, October 15, 2007

සිංහලකරණය

සිංහලකරණය යනු මෘදුකාංගයක් හෝ මෘදුකාංග පද්ධතියක් හෝ වෙනත් යමක් සිංහලට දේශීයකරණය කිරීමයි. නමුත්, එසේ කිරීමේදී සිංහල සමාජයට ආවේණික සංස්කෘතිමය, සමාජමය හා අනෙකුත් කාරණා සැලකිල්ලට ගැනීම අනිවාර්‍යයෙන් ම කලයුතුය. එමනිසා සිංහලකරණය යනු හුදෙක් සිංහලට දේශීයකරණය කිරීමට වඩා පුලුල්ව යොදාගතයුතු සංකල්පයකි. බාහිර ලෝකයෙන්, විශේෂයෙන් ම බටහිරින් අප ලබාගත් බොහෝ දැනුම අපගේ ම කරගෙන ඒවායේ නියමුවන් බවට පත්වීමටත් එම ක්ෂේත්‍ර තුල ඔවුන් හා කරට කර සිටීමටත් අප අපොහොසත් වුයේ ඉහත සඳහන් පරිදි අපට ආවේණික සංස්කෘතික හා සමාජ මූලයන් තුලට ඒවා උකහා නොගෙන මතුපිටින් පමණක් ඒවා ග්‍රහණය කරගැනීමයි. එමනිසා සිංහලකරණයේ යෙදෙනවිට සැමවිටම අපගේ සමාජ සංස්කෘතික කාරණා ද සැලකිල්ලට ගනිමින් චිරස්ථායී දැනුමක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකල යුතු වේ. මෘදුකාංගකරණයේදී සිංහලකරණය සඳහා ඉහත සඳහන් ආකාරයේ ප්‍රවේශයක් ලබාගැනීමෙන් ජනතාවට පරිඝණක තාක්‍ෂණයේ මහඟු ප්‍රතිඵල අත්පත් කර දීමට අදිටන් කරගනිමු.

No comments: